Saturday, December 3, 2016

කේමදාසයන්ගෙන් ගෙන් අමරදේවයන්ට 1.








ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මෙලොව දිවියේ සිය අවසන් සුසුම් පොද මේ වාතලයට මුසු කර දැන් දින කිහිපයකි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එසේ කළේ වසර කිහිපයකට ඉහතදීය.

දෙදෙනාම ජීවතුන් අතර සිටි සමයේ සිටම, දෙදෙනාම ශ්‍රී ලාංකික රසවතුන්ගේ නොමද ආදරයට පාත්‍රව සිටි සමයේ සිටම, මගේ හිතේ පැවැති අදහසක් වූයේ, අමරදේවයන් සඳහා කේමදාසයන් නිර්මාණය කර දුන් ගීත ආර සහ අමරදේවයන්ගේ ස්ව නිර්මාණ ආර අතර ඇති යම් වෙනසක් වේදැයි විමසිය යුතුය යන්නය.

මේ විමසීමට කාරුණා කාරණ මුළින්ම සිත්හි ජනිත වීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ, අමරදේවයන් ගේ ගීත ආරියසිංහයන් විසින් ගායනා කළැයි ඇති වූ මහත් ආන්දෝලනය අතර තුර විවිධ කරුණු දැක්වීම් වලට මටද සහභාගි වන්නට අවස්ථාව ලැබුණු අතරතුරය. ඒ අතරතුර මා සිතුවේ ආරියසිංහයන් ගැයුවේ අමරදේවයන්ගේ ගීද කේමදාසයන්ගේ ගීද යන්නය.

මෙය තරමක් විවාදාපන්නය. ගීතයක නීතිමය අයිතිය හා බැඳුනු කරුණු කාරණා අනුව ඒවායේ වැඩි අයිතිය ඇත්තේ කේමදාසයන්ටය. එහෙත් ඒ හා බැඳුනු නිර්මාණාත්මක කරුණු සහ සදාචාරාත්මක කරුණු විෂයකොට ගත් විට නීතිය ඉදිරියේ කෙසේ වෙතත්, අමරදේවයන්ටද අහෝසි කළ නොහැකි අයිතියක් ඇතැයි මා සිතුවෙමි.

ඒ අනුව විද්‍යුත් මාධ්‍යන් ඔස්සේද, මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේද පළ කළ මගේ අදහස් ඇගයුමට සේම ගැරහුමටද බඳුන් විය.

පසුව මේ හේතුව නිසා පාර්ශ්ව දෙක තුනම මා සමග යම් අමනාපකම් ඇති කරගත්තද, ඊටත් පසුව යළිත් සාමාන්‍ය තත්වයට පත්වුණද ඒ කාලයේ ඇති වුණ අර නිර්මාණ සසැඳීමේ අදහස එතැන් සිට වරින් වර සිත්හි මතුවී නැතිව ගියේ වුව, සිතින් සදහටම මැකී නොගියේය.

අවසන් වරට එම අදහස මතු වූයේ, අමරදේවයන් සිය අවසන් සුසුම් පොද අප හුස්ම ගලන්නා වාතලයට මුසු කළ දිනට පසු දිනය. 

මා කේමදාසයන්ගෙන් ගෙන් අමරදේවයන්ට හිමි වූ ගීත ලැයිස්තුවකට ගොනු කරමින් සිටියෙමි. ඒ අතරේ වූ වෙසෙස් ගී කිහිපයක් මගේ සටහන සඳහා තෝරා ගන්නට සිතුවෙමි. මේ එම දිග ලැයිස්තුවෙන් තෝරා ගත් ගීත ගැන වමසුමකි. කෙසේ වෙතත් මෙය අසම්පූර්ණ ලැයිස්තුවකින් තෝරා ගත් ගීත කිහිපයක් වන බව නිසැකය. ඒ මෙහි අඩංගු විය යුතු තවත් ගී තිබිය හැකි නිසාය.

මේ කතා බහ, වෙනදාට වඩා විවාදාපන්න වන්නට ඉඩ ඇතැයි මට අනන්ත වාරයක් සිතුණු බව කිව යුතුය. ඊට හේතුව, මෙහි මතුවන සමහර කරුණු ඔබ අතරින් සමහරෙකුගේ වැඩි ප්‍රසාදයකට බඳුන් නොවන්නට ඉඩ ඇති වග මට වැටහෙන බැවිනි. කියන සමහර කරුණු සමහර අවස්ථාවලද, සමහර පුද්ගලයන් විෂයයෙහිද කීම ගැන සමහරුන්ට ඇති ප්‍රසාදමත් නොවන බව සඳහා ඔවුනට ඇති අයිතියට මම ගරු කරමි. එහෙත්, තමන්ට ප්‍රසාදයක් නොවුණු පමණින් එවන් යම් කරුණක් අන් කෙනෙකුට කිව නොහැකි යැයි බලපවත්වන්නට හදන විදිහ ගැන මම මගේ අප්‍රසාදය පළ කරමි. කළ යුතු වන්නේ එවන් දෙයකට එවන් විදිහටම පිලිතුරු දීම වුව, පිලිතුරු දෙන්නට හදන්නේ කැට මුගුරු වලින් වීම පිළිබඳව ඇති අප්‍රසාදයේ නිමක් නැත. එහෙත්, සමහර අදහස් නොකියා හිත සැහැල්ලු නොවෙයි. එබැවින් ඒවා කිව යුතුය.

මට අනුව නම් අමරදේවයන් අප අනු දත් සංගීත මග හෙළි කරගත් පුද්ගලයා නොවේ. එහෙත්,  
 ආනන්ද සමරකෝන්


සුනිල් ශාන්ත  
වැන්නවුන් හෙළිකොට යම් දුරක් පියවර මැණ ගිය මගක කටු කොහොල් දුරලමින් ඒ මග සෑහෙන බොහෝ ඉදිරියට ගිය අයෙකි ඔහු. 

ඒ පුරෝගාමීන් ගිය මග ඔවුන් පසුපස යන්නට සැකයෙන් සිටි බොහෝ අයට සැක දුරුකොට ගමන් ගන්නට මග පෙන්වූවෙකි ඔහු.

මට අනුව නම් මගේ කාලයේ වඩාත්ම භාවමය හඬින් ගී ගැයූ ගායකයා ඔහුය. ඔහු මහා සංගීතඥයෙකු  ද වෙයි. එහෙත් හෙලයේ මහා සංගීතඥයා යන නාමය අන් අය විසින් ඔහුට පටබැන්දද, හෙළයේ මහා සංගීතඥයා ඔහු නොවේ යැයි සිතන අයෙකි මා. ඒ කුමක් නිසාද? ඔහු සංගීතයෙන් අප වශීකෘත කළේ වුව පෙළහර පෑවේ ඔහු නොවන බව මගේ අදහස වන බැවිනි. සංගීතයෙන් පෙළහර පාන්නට තැත් දැරුවේ අන් අයෙකි. එහෙත් ඒ අන් අයට ඒ කිරුළ පළඳවනු වලකා ලන්නට අවැසි වූ තවත් යම් පිරිසක් අමරදේවයන්ට එම කිරුළ පැළඳවූ බවයි මට නම් හැඟෙනුයේ. හෙළයේ මහ සංගීතඥයා ඔහු වන්නේ ඒ අයුරිනි. එය අමරදේවයන්ගේ ව්‍යාපෘතියක් නොවේ. එය අන් සෑහෙන පිරිසකගේ ව්‍යාපෘතියකි. අනෙකෙකුට එරෙහි අන් අයගේ ව්‍යාපෘතියකි. අමරදේවයන් එහි සමීපතම ගොදුරයි. සොඳුරු ගොදුරක් යැයි හැඳින්වූවද වරදක් නොවේ. මක් නිසාද යත්, ගොදුරට පවා තමන් ගොදුරක් විනැයි නොහැඟෙන සේ ගොදුරක්කොටගත් බැවිනි. ඒ අනුව කුමන අයුරින් හිතුවද,බැළුවද සතුරෙකියැයි අන් අයට නොහැඟෙන පරිදි තම සිත්හි පමණක්  තමන්ගේ ක්ෂේත්‍රෙය් හරඹ දක්වන පුද්ගලයෙකුට එරෙහිව ක්‍රියාත්මක වුණු අන් අයගේ ව්‍යාපෘතියක ගොදුරකි අමරදේවයන්.

මේ සතුරෙකැයි නොපවසමින් අමරදේවයන් නොව ඒ අන් අය සතුරු තනතුරක ලා සැකූ ඒ සංගීතඥයා වනුයේ,  


ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය

හෙළයේ මහා සංගීතඥ යන නාමය යමෙකුට පුදන්නේ නම් එයින් පිදුම් ලැබීමට වඩාත් සුදුස්සා විය යුත්තේ කේමදාසයන් ය යන්නය මගේ නම් අදහස. 

ඔහු සිරිලක සංගීෙත කෙතට කරණු ලැබූ මෙහෙය අනුපමේයය.  

 ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් 
විසින් සිරිලක සංගීත කෙතට කරණා ලද මෙහෙය අවතක්සේරු කිරීමේ අදහසක් එහි නැත. එහෙත් විවිධ මානයන් ඔස්සේ සිතමින් විවිධ පරාසයන්ට එමින් යමින්, ඉහළටද, ගැඹුරටද යමින්, සරල බවද සංකීර්ණත්වයද ස්පර්ෂ කරමින් සංගීතය යනු එක් නිමි අච්චුවක ලා සාදන දෙයක් නොව, විවිධ අත්හදා බැලීම් ඔස්සේ, හරඹයන් ඔස්සේ මතු කරගත යුතු දෙයක් බවට පසක් කළේ ඔහුය.

අමරදේවයන් තමන්ට සාදාගත් ගීද අනුන්ට සෑදූ ගීද හොඳින් විමසන්න. කේමදාසයන් විසින් අමරදේවයන්ට සාදා දුන් ගීද අන්‍යයන්ට සෑදූ ගීද විමසන්න. මැදහත් සිතින් විමසුයේ නම් මා කියන්න පැහැදිලි වේ. එහෙත් යම් ගැටළුවක් ඇත. පෙර කී යම් යම් පාර්ශ්ව වල ඒකාබද්ධ මෙහෙයුම් වලදී රසිකයන් වන අපද එකී මෙහෙයුම් වල ම ගොදුරු බවට යම් මට්ටමකට පත් වීමයි. එබැවින් අප සංගීත කෙතට කේමදාසයන් කුමන අයුරක අරුතක් දායකත්වයක් මෙහෙයක් එක් කළද යම් පිදුමක් කරන්නේ නම් ඔහුට ඉහළම පිදුමක් හිමි විය යුතු වූවද, අමරදේවයන් හා සසඳන්නට යාමේදී එසේ නොකරන්නට ඔවුන් තුළ චෛතසිකයක් මතුව පවතී. ඒ පෙර මා කී ලෙස අපද අර ව්‍යාපෘතියේ නොදැනුවත් ගොදුරු බවට පත්වීම නිසාවෙනි. ඉන් නොනැවතී සසඳන්නන්ට නොසරුප් බස් කීමට පවා අප සමහර රසිකයින් ඉක්මන් වූවද එය අරුමයක් නොවේ. ඒ නොසරුප් බවේ තරමට, ගොදුරක් වූ තරම ප්‍රකට කරණු ලබයි.

කතාව දිග්ගැස්සුනා වැඩි ය. ගීතයක් අසා යාම මැනවැයි සිතේ. මේ අමරදේවයන්ගේ ගීතයකි. නැත. එය අපේ ගීතයකි. එහෙත් මේ පසුපස ඇති දැවැන්ත සෙවනැල්ල කාගේද යන්න විමසමින් අසනු මැණවි.

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්....

මේ ගීතයෙහි රචනය  

ආචාර්ය අජන්තා රණසිංහ
යන්ගේ ය. 

එහි සංගීතය අමරදේවයන්ගේ ම බඳු ය. එහෙත් එහි සංගීතය අමරදේවයන්ගේ නොවේ. එහි සංගීතය කේමදාසයන් ගේ ය. මෙහිදී කේමදාසයන් උත්සාහ කර ඇත්තේ ගීතයේ හැඟුම් අමරදේවයන්ගේ සංගීතාකාරයට වඩා ළඟින් යමින් ඔහුගේ භාවමය හඬට වඩා ඉඩදී එහි ඇතුළාන්තය මතු කිරීමටය. එහි අරුතට අමරදේවයන්ගේ භාවයන් වඩාත් යෝග්‍ය බව කේමදාසයන්ට ඇතුළාන්තයෙන් සන් කරණ බැවිනි. 

කේමදාසයන්ගේ සංගීතය එවැනිය. කේමදාසයන්ගේ සංගීතය තුළ කේමදාස කෙනෙක් මතු වන්නේ ඒ තුළ ඔහු කේමදාස කෙනෙක් ගැබ් කරණ බැවින් නොවේ.  සංගීතමය අනන්‍යතාවක් ඔහුට ඇති බැවිනි. ඒ නිසා බැලූ බැල්මට මේ නම් කේමදාසයන් විසින් නිර්මිත සංගීතයකැයි හැඟෙන සේ ඒවා නිම වීම හිතා මතා කළ දෙයක් නොවේ. ඔහු තුළ එවැන්නක් නැත. එබැවිනි ඔහු මේ ගීතයේදී අමරදේවයන් මතු කරනුයේ. අමරදේව ආරට සමාන භාවයන් මතු කරණුයේ. ගීතයේ ඇතුළාන්තය ඉල්වන්නේ එය නම් ඔහු දෙන්නේ ද එයයි. ඇතුළාන්තය ඉල්වන්නේ අමරදේවයන් නම් කේමදාසයන් දෙන්නේද අමරදේවයන්මය. අමරදේවයන් ඉල්ලන ඇතුළාන්තයට එරෙහිව අරගල කරමින් එහි කේමදාසයන්ව ගැබ් කිරීම ඔහුගේ පුරුද්ද නොවේ.

ඒ නිසාය මෙහි අපට වඩා හුරු පුරුදු කේමදාසයන්ගේ සංගීතයට වඩා යම් නෙසක් මෙහි ඇත්තේ. ඒ ඔහුගේ පරාසය ප්‍රකට කිරීමයි. හැම ගීතයකටම ඔහුගේ පෙරළිකාර පර්යේෂණාත්මක සංගීතය නොගැලපෙන බව ඔහු මැණවින් අවබෝධ කරගන්නේ, ඔහු එහිදී නිම වන්නේ අමරදේවයන්ගේ සංගීත ආරත් නොවන, එය නොවන්නේත් නොවන සංගීතයකි. විශේෂයෙන් මා එසේ කියනුයේ තනුව විමසීමෙනි. සංගීත රටාවන් විමසීමේදී වුව එය යම් අයුරකින් නිවැරදි වේ. කෙසේ වෙතත් ඒ ඒ සංගීත භාණ්ඩ වලින් වයන සංගීත ඛණ්ඩයන් හොඳින් ශ්‍රවණය කළහොත් ඒවා තුළින් මතු වන්නේ අමරදේවයන් නොව, කේමදාසයන් ය. උදාහරණයක් ලෙස වයලීනය වැයෙන හැටි විමසන්න. එහි අළුව තත් මත වැදී නංවන්නේ සංයමයට වැඩිමනත් නැඹුරු වූ, කේමදාසයන්ගේ හිතුවක්කාර සංගීත රටාවයි. ඒ අනුව ඔහු මෙම ගීතය තුළ අමරදේවයන්ගේ භාවයත්, කේමදාසයන්ගේ හිතුවක්කාර බවට නැමුණු අනන්‍යතාවත් එක වර ගැබ් කරයි.

තුන් මහළින් සැදි සරසවි පායේ
මල්කැටයම් සෙවනේ
සිරි පොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ......

පාළු නිසංසල කදුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිදගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ 

හන්තානේ කඳු මුුදුණ සිසාරා ගීතය අසමු. 




අමරදේවයන් ද, කේමදාසයන් යම් තරමකින් පෞද්ගලිකව හඳුනාගෙන යම් ඇසුරක් පවත්වන්නට ලැබීම කෙනෙකුගේ භාග්‍යයකි. ඒ භාග්‍යය මටද ලැබුණි. 

1996දී කපුගේ පිළිබඳව කෘතියක් ( හඬ - විශාරද ගුණදාස කපුගේ, ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශණ, තිඹිරියාගම බන්ඩාර, මහින්ද කුමාර දළුපොත, යසනාත් ධම්මික බණ්ඩාර ) සම්පාදනය කරණ අවධියේදී රසිකයෙකුගේ සීමාව පැන, පළමුවරට අමරදේවයන් හා යම් සමීප කමක් ඇරඹුණි. එහෙත් කේමදාසයන් ඒ මට්ටමට ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබෙන්නේ අමරදේව - කේමදාස දෙදෙනා අතරේ යම් විරසකයක් ගොඩනැගුණු අවස්ථාවකදී ය. ඒ මෙහිම යම් තැනක ලියා ඇති ආරියසිංහයන් විසින් අමරදේවයන්ගේ ගී ගැයුවා යැයි වූ ආන්දෝලනය අතුරතුරය. මේ කතාන්දරයේ සුළ මුළ මා දැන සිටීමේ හේතුවෙන් අවසන අපහසුතාවට පත්වූයේ මමම ය. ඒ මම දැන සිටි දේ කියා පෑ බැවිනි. 

යළි මෙහි මා එය ලියන්නේද නැති ද යන්න සිතමින් සිටි අවස්ථාවක, එදා එය ලියුවා නම් මෙදා නොලියා සිටිය යුත්තේ මන්දැයි මෙවන් දෑ පිළිබඳව රැඩිකල් මත දරණ මිතුරෙකු මගෙන් විමසා සිටියේය. එය එක්තරා ඇත්තකි. එබැවින් එදා දැන සිටි ඒ කරුණු යම් තරමකින් හෝ ලියන්නට වීම පිළිබඳය යළිත් මම නොසිතමි.

එකල  


ඩබ්ලිවු. ඩී. ආරියසිංහයන් 
සොයා ගොස් ගීතයක් ගයවා ගත් අයෙකි මම. ඒ යුග ගීයකි. 


කථාකාචාරිනී රශ්මි සංගීතා  
සමග ගැයූ ඒ ගීතයට තනු නිර්මාණය කොට සංගීතය සැපයූවේ  

නවරත්න ගමගේ
මා හිත මිතුරා විසිනි. ඇත්ටම නම් එය ඔහු විසින් පෙර නිර්මිත තනුවකට මවිසින් වදන් යෙදීමකි. ඒ ගැන වැඩි කතා අවැසි නැත. අප දැන ගැනීම පිනිස පමණක් එම ගීතය අසා යමු.



වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ
නුඹට ආදරේ

තනුව සහ සංගීතය - නවරත්න ගමගේ
පද පෙළ - යසනාත් ධම්මික බණ්ඩාර
ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා

වළාකුළු පෙළින් බසින්න ගීතය අසමු.

 

මේ ගීතයත් සමඟම ආරි අයියා පිළිබඳව ඇති වූ මගේ ප්‍රසාදය මෙතෙකැයි කිව හැකි නොවේ. ඒ සමඟම ඔහු පිළිබඳව යම් දුකක් ද ඇති විය. එනම් ඒ වන විටත් ඔහු ස්වීය නිර්මාණ එකතුවක් කර තිබුණත් ඒවා ජනගත කරගැනීමේ අවස්ථාවක් නොමැතිව සිටි බැවිනි. 

ඔහු වන් හොඳ හඬක් තිබූ හොඳ ගායන හැකියාවක් තිබූ ගායකයෙකුට ඒ අවස්ථාව නොලැබුණු අයුරු නම් මට අදහා ගත නොහැකිය.

ඔහුගේ ගීත අඩංගු තැටි කිහිපයක් මවිසින් මගේ වියදමින් කප්පවා මාධ්‍ය ආයතන වලට දුන් අයුරු මට මතකය. එහෙත් ඒවා ප්‍රචාරය වුණු බව නම් අමතකය.

ආරි අයියා අමරදේවයන්ගේ ගීත එකතුවකට සිය හඬ දෙන්නේ මේ අතරේය. බොහෝ අමරදේව රසිකයින් ආරි අයියාට වාග් ප්‍රහාර එල්ල කරණුයේ මුව හමට තලන කතාව මතකයට නංවමිනි. මේ වට පිටාව තුළය මා දැන සිටි සමහර කරුණු ඇළත් විශේෂාංග ලිපි මවිසින් පුවත් පත් වලට ලබා දෙනු ලබන්නේ. 

ඇත්තෙන්ම එම ගීත එකතුව නිසා එදා වැඩිපුරම අපහසුවට ලක් වුණේ ආරි අයියාය. ආරි අයියාගේ නාමයට එදා ඇති වුණු කැළල අදටත් යම් මට්ටමකින් හෝ පවතී. ඒ ආරි අයියාට එරෙහිව කැට මුගුරු ගත් බොහෝ දෙනෙකු අදවත් ඒ පසුපස වූ ඇත්ත කතාව දන්නේදැයි මට සැකයකි. 

ඇත්තටම නම් බොහෝ කාරණා වලදී යමෙකුට එරෙහිව කැට මුගුරු ගන්නා බොහෝ අය එලෙස කරන්නේ ඒ පසුබිමේ ඇති ඇත්ත කතාව දැන ගෙන නොවේ.
එය සිදු වූයේ මෙසේය.

සජීව ෆැන්සි පැලස් ලේබලය යටතේ, අමරදේවයන් වෙනුවෙන් කේමදාසයන් සංගීත නිර්මාණය කළ ගීත එකතුවක් අමරදේවයන්ගේම හඬින් නිෂ්පාදනය කරන්නට මෙහෙයුම් කටයුතු සිදුවෙමින් පැවතින. එහි මූලික සියළු කටයුතු එනම් සංගීත පසුතල පටිගත කිරීම් නිම කර ඉතිරිව තිබුණේ අමරදේවයන්ගේ හඬ සංයෝජනය කිරීම පමණි. ඒ වෙනුවෙන් අමරදේවයන්ට හිමි වන්නට තිබූ  මුදල ලක්ෂ 5කි. ඒ පූර්ව කථාකාවක් මතය.

මේ අතරේය ටොරානා මියුසික් බොක්ස් වෙනුවෙන් සරත් කොතලාවල මහතාගෙන් අමරදේවයන් වෙත යම් ඇරියුමක් ලැබෙන්නේ. ඒ මට මතක හැටියට නම් අමරදේවයන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි 5ක් නිෂ්පාදනය කිරීම සඳහා වන ලක්ෂ 30ක් පමණ වටිණා ගනු දෙනුවක් වෙනුවෙනි. වඩා විශාල ගනු දෙනුව වෙනුවෙන් කරමින් සිටි කාර්යය අත්හල බැවින් මෙතෙක් වියදම් කළ මුදල ගොඩ දා ගැනීම සඳහාය අනතුරුව ව්‍යායාමය අරඹනුයේ. යම් යම් ගායකයින්ට කතා කළද අකමැති වන මුත් ඩබ්. ඩී. ආරියසිංහ ගායකයා එම ගී ගැයීමට එකඟවීමත්  සමඟම ගිනි දළු ඇවිලෙන්නට විය. බුර බුරා ඇවිලෙන්නට විය.

බොහෝ  පිරිස් ආරියසිංහට එරෙහිව අවි අතට ගන්නේ පෙර කතා බහ ගැන දැනුමැතිව නොවේ.

මේ කතාව කියන්නට තවත් එක් හේතුවක් වූයේ, කේමදාසයන් විසින් අමරදේවයන්ට කර දුන් සුපිරිම ගීත ටික එම ගී එකතුවෙහි වීමයි. එබැවින් මෙහි කතා බහට ලක්වන බොහෝ ගී එහි දී ආරියසිංහයන්ගේ හඬින් පසුව ගැයුණු ඒවාය.

මෙහි වන තවත් විශේෂත්වයක් වෙයි. එනම් ඒ ගී අතුරින් වැඩිම ගණනක් රචනා කොට ඇත්තේ ආචාර්ය අජන්තා රණසිංහයන් වීමයි.

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ ...

මේ ගීතයේ ඇත්තේ බටහිර සංගීතයද? නැති නම් පෙරදිග සංගීත ඇසුරද? මට නම් හැඟෙන්නේ එහි බටහිර සංගීත ඇසුර වැඩි බවයි. මොන සංගීත ඇසුර වැඩි වුවද ඒ සංගීතය අපේ සවනට ගෝචර වන්නා සේම එහි අන්තර්ගතය මතු කරන්නට ද එක වර සමත් නොවන්නේද? ඊ ළඟට අමරදේවයන් විසින්ම එහි සංගීතය කරගත්තා නම් විය හැකි අයුරට වැඩි වෙනසක් එක්ව ඇතිවා නොවේද? ඒ නිසාම අමරදේවයන්ගේ ගී එකතුව විචිත්‍රවත් කර ඇතිවා නොවේද?

මීදුම් මඳහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝස පියල්ලේ ඔබේ සිනිඳු රූ
සිතුවම් කරවා සමුගන්නේ

මේ පද පෙළ දුටු විට සංගීතය හා ගැයුම වැණුම පසෙක තබා පද පෙළ වැණුමට සිතෙන්නේ මට පමණක් නොවිය හැකිය. එය මොන තරම් සුන්දර දසුනක් මනසෙහි මවන්නේද?

ඈගේ මන්දස්මිතයෙහි මතකය කඳු අතරින් නැගෙන මීදුමක් වැන්න. ඒ මීදුම ඇදී අවුත් රෝස පෙති මත පිණි අතුරණ කල, එය හරියට ඈ සිතුවම එහි ඇන්දාක් බඳුය. එසේ ඈ රුව අඳින මිහිදුම යළි සැනෙන් ඉවතට පාව යයි.

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

රෝස පියළි මත පිනි බිඳු කාගෙත් නෙතට මනරම් දසුනකි. මේ දසුන පින්තූරයකින් හෝ සැවොම දැක ඇත. මේ පිනි හරියටම ඔහු දෑසින් වැටෙන කඳුළු වැනිය. ඔහු දෑසේ කඳුළු කිමද? ප්‍රේමය ම්ලාන වූ බැවින් ය.

ඔබගෙ සියුමැලි දෝතින් ඉන්දූ
රෝස ගසේ මල් පිපුණු උදේ
රෝස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනිවූවා නොවෙද ළඳේ

මේ වේදනාව දිනක තවත් වැඩි වන්නට හේතුවක් විය. ඒ අනෙකක් නොවේ. ඇගේ දෝතින් ඉන්දුව රෝස ගසේ පළමු මල් සම්පත නිසාය. සැනසුමට හේතු විය යුතු දසුනක් කෙලවර ඒ රෝස මලක් මතම වැටුණු කඳුළු බිඳකි. අද ඈ එහි නැත. ඔහු පමණක් රෝස ගස අස තනිව ඇත. කඳුළු අසාධාරණ නෑ නොවෙද?

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

මෙ වචන සරලද? සරල සේ පෙනෙන ගැඹුරක් එහි නොවන්නේද? අවමයෙන් සරල සේ රචනා වී ඇති සුමුදු පද රැගත් ගීතයේ සරල අරුත ලිහන්නට ගැඹුරින් සිතන්නට සිදුව ඇතිවා නොවේද? මට නම් අරුත සරලව වැටහුනද එය සරල රචනයක් නොවන්නේය.

යළිත් අවධාරණය කරණුයේ කේමදාසයන්ගේ සංගීත නිර්මාණයයි. එහි ඇති හැඩය අමරදේවයන්ගේ කටහඬ අමරදේවයන්ට අවැසි ලෙස නොව කේමදාසයන්ට අවැසි ලෙස උකහා ගන්නට සමත් වෙයි. ගායන විලාසයේ ඇති යම් බටහිරට බර ඌරුවද, සුළලිත බවද එහි ප්‍රතිඵලයකි. එය හන්තානේ කඳු මුදුණ සිසාරා ගීතයට වඩා හාත් පසින්ම වෙනස්ය.

මේ ගීතයේ සංගීතය අමරදේවයන් විසින්ම කර ගත්තේ නම් විය හැකි එක් දෙයක් වන්නේ එයත් විශිෂ්ඨ ගීත නිර්මාණයක් වීමයි. එහෙත් මේ මා මතු කරණ විචිත්‍රත්වය එහි නොදැනෙනු ඇත. 

රතු රෝස පොකුරින් වෑහුනා ගීතය අසමු.



අදට නවතිනුයේ සටහන නිමි බැවින් නොවේ. මෙය මෙවන් සටහන් කිහිපයක එකතුවක් වනු නොඅනුමානය. නැවතුම ලබන සතියක හමු වෙන තෙක්ය.





-      යසනාත් ධම්මික බණ්ඩාර   -