Friday, September 5, 2014

වික්ටර් නැතිව වික්ටර් දකිමු (සිව්වන කොටස)







උඩු හිත සහ යටි හිත.....

හැඟීම් සමග හාද වෙලා ඉන්නේ උඩු හිත. බුද්ධිය සමග ගනුදෙණු කරන්නේ යටි හිත. ඉතින් දැන් වෙලාව උඩු හිතේ ගීතය සහ යටි හිතේ ගීතය අහන්න. ඉස්සරලා උඩු හිත ලිවූ ගීතය කියවා බලමු.

මාලිනියේ
මා මනසේ
මා දෑස සොයනා රුව ඇඳුණා
මාලිනියේ..... 
මංගල පෝරුව මස්ථකයේ
මම ඔබෙ අත ගනිමී...... 
පතිවත රකිනා කුලකුමරී
මම ඔබ රැක ගනිමී......

මේ උඩු හිත ගයන ගීතය ලියා ඇත්තේ මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින්. උඩු හිත කියනවා තම දෑස සෙවූ රුව - මාලිනිය - තම මනසේ ඇඳුණු බව. ඉතින් ඔහු උද්දාමයෙන්. ඒත් මේ මනස සෙවූ රුව නොවෙයි. දෑස සෙවූ රුවයි. දෑස සෙවූ රුව මනසට කොතෙක් ගෝචර වේද? දෑස සෙවූ රුව අත්පත් කරගැනීම ඇය තේරුම් ගෙන ජීවිතය ඇරඹීමක් නොවෙයි. එහෙත් ඇගේ රුවින් මන්මත් වූ උඩු හිතට එය නොවැටහෙයි. එබැවින් මංගල පෝරුව මස්ථකයේ ඇය අත ගැනීමට සැරසෙයි. පතිවත රකිනා කුලකුමරිය දෑස සේ රැකගැනීමට වෙහෙසෙයි. එහෙත් යටි හිත හෙවත් බුද්ධිය මෙය ප්‍රශ්න කරනවා. බලන්න උඩු හිතේ ගීතය යටි හිත විවේචනය කරණ ආකාරය.

මාලිනියේ
ඉන්ද්‍රජාලය
මා මනසේ
අන්ධකාරය
මා දෑස සොයනා
ඔබ දෑස නැත  
රුව ඇඳුනා
මාලිනියේ
නොරැවටෙන්......... 
මංගල පෝරුව මස්ථකයේ
අමන තරුණය
මම ඔබෙ අත ගනිමී
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද......
පතිවත රකිනා කුලකුමරී
අරුම පුදුමය
මම ඔබ රැක ගනිමී
වරදෙ නොබැඳෙන ළඳුන් ළොව නැත......

මේ උඩු හිත ගයන ගීතය යටි හිත විසින් ප්‍රශ්න කරන අයුරු ලියන්නේද මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින්මය. සුනිලුන් විවාපත්ව නැත. ඔහු විවාපත් නොවූයේ මන්දැයි හමුවූ බොහෝ අවස්තා ඇතත් මා විමසා නැත. මේ ගීය ඇසූ කෙනෙක් ඔහු විවා දිවිය ගැන මනා අවබෝධයෙන් සිටි නිසා එසේ තනිකඩකම කොච්චරද අගේ කියා සිතුවායැයි සිතනු ඇතැයි මට සිතේ. එහෙත් මම එසේ නොකියමි. හිතළුවක් විදිහට මතුවු දෙයක් කීවා පමණි. එය එකිනෙකාගේ නැණ සහ අත්දැකීම් මත තීරණය කරන්නට ඉඩ හරිමු. එහෙත් සුවිශේෂ වූ ගී ආකෘතිය නිසා මම මේ ගීතය මෙහිදී වැයිය යුතුයැයි සිතුවෙමි. 

බුද්ධිය සහ හැඟීම්...... 
ආදරය සහ අනුරාගය....... 
මිත්‍යාව සහ යථාර්ථය.... 
ආලය අන්ධයි යන කියමනට අළුත් අර්ථකථනයක්ද?  
පද පෙලහරක අපූරුව. 
අපි අසා බලමු. 
සත්‍යද ? අසත්‍යද ?  

ගීතයේ අන්තර්ගතය ඔබට මට කොතරම් පොදු දැයි මම ප්‍රශ්න කරන්නේ නෑ. එහෙත් මෙම ගීතයට පක්ෂපාතී පිරිස් ඕනෑතරම් මෙතනම ඇති. 




වික්ටර්ගේ මේ ප්‍රේමය විෂයපථය වන ගීත වල බහුලව ඇත්තේ ප්‍රේමයේ හුදු සුන්දරත්වය හෝ විරහව පමණක් නොවේ. බොහෝ දෙනෙක් ස්පර්ෂ නොකරන විෂය පථයන් ඔස්සේ ඒවා දිවයනු දැකගත හැකිය. මේ ගී සමහරක් මිනිස් මනස විනිවිද දකින මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් වැනිය. උඩු හිත සහ යටි හිත අතර ඇති විසංවාදය වික්ටර් තම හඬම තල දෙකක ගායනා කරමින් මාලිනියේ ගීතය තුළ ඉදිරිපත් කරද්දී උඩු හිත සහ යටි හිත අතර ඇතිවන තවත් එවැනි විසංවාදයක් අමරදේව සහ වික්ටර් සුසංයෝගයෙන් නිරූපනය කරණ ගීතයක් ලෙස අපට හමු වෙනවා. සමහරුන්ට හිතන්න පුළුවන් මෙම ගීතය තුළ අමරදේවයන් කිසියම් පැසුණු වැඩිහිටි පුද්ගලයෙකු නිරූපනය කරන අයුරිනුත් වික්ටර් රත්නායකයන් නොමේරූ තරුණයෙකු නිරූපනය කරන අයුරුනුත් ලෙස. ඒත් මට නම් හිතන්නේ මේත් උඩුහිත සහ යටි හිත අතර ඇතිවන විසංවාදයක් කියලයි. එහෙම නොවුනත් ඒ විදිහට අර්ථදැක්වීමේ වරදක්ද නැහැ කියලා හිතෙනවා. හැම රසිකයාම එකම විදිහට හිතන්න ඕනෑ නැති නිසා. මගේ අර්ථකථනයේ හැටිහට යටි හිත උඩු හිතට මෙහෙම කියනවා.

ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ......

ඇයගෙන් සිය ආශාවන් සතපවා ගත් අප යෞවනයාගේ උඩු සිත තුළ ඇය කෙරේ මහත් ඇල්මක් ඇති වෙනවා. ඔහු ඇයට දහසක් ප්‍රේමණීය වදන් දොඩමින් ප්‍රේමණීය රැඟුම් සහ හැඟුම් පාමින් ඇයව කුල්මත් කරනවා. මක් නිසාද? මොහොතකට පෙර ඇය තමන් වෙත අපමණ කායික සතුටක් ලබා දී ඇති නිසා . ඒ ඊනියා සෙනෙහස විනිවිද දකිමින් ප්‍රශ්න කරන්නේ ඔහුගේම යටි හිතයි. යටි හිත දකිනවා එම රාගී දෑසේ ලියවී ඇති සත්‍ය කතාව. එනම් ඇත්තටම ඔහු ආදරේ ඇයට නොව ඔහුටම පමණක් බව. ඒත් ඒ ප්‍රශ්න කිරීමට උඩුහිත පිළිතුරක් සපයනවා.

වසන්ත දෙකොපුල - නිදිවැරු තොල් මල්
දසැඟිලි තුඩු අග - පිබිදුණු රණ හස
ඇයට ආදරේ ආදරේ මම....

ඇය කෙරෙහි ඔහුතුළ උපන් මේ සෙනෙහසට හේතු සාධක එහි මනාව කියවෙනවා. ඇයගේ සුසිනිදු රෝස දෙකම්මුල්, තමන් වෙනුවෙන් නිදි නොලැබ රැය පහන් කළ ඇයගේ රත් දෙතොල්, රැය පුරා තම සුරතෙහි ඇඟිලි තුඩු තුළ සුරතල් වූ ඇගේ පිරුණු පියයුරු....... මේවා තමයි ඔහුට ඇය කෙරෙහි ආදරය ඇල්ම ඇතිවීමට හේතූන්... ඉතින් යටි හිත මේ හේතු සාධක මත ඇතිකරගත් සෙනෙහස සැබෑ සෙනෙහසක් ලෙස දකින්නේ නෑ. ඒ නිසා නැවත මෙහෙම කියනවා.

ඇගේ සුරත ගෙන - පිණිවිල්ලුද මත
ඇයට ඇළුම් බව - ඔබ පැවසූ පසු
පෙරලා ඔබහට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ....

මේ අර මතු හිතේ උපන් ඊනියා සෙනෙහසට තවත් හේතු සාධක වන්නට ඇති කරුණු නොවේද? ලස්සන උයන් තෙරක - විල්ලුද තණ පලසක ඇය හා දොඩමළුව ඇවිද යන අතර ආලයට වඩා අනුරාගයෙන් මත්ව ඔහු ඇයට ආදරේයැයි පවසනවා. එවිට ඇයද එම හැඟීමෙන්ම පෙරලා ඔහුටද ආදරය කරන බව පවසනවා. එම පිලිතුරෙන් ඔහු මහත් සේ සැනසෙනවා. යටි හිත උඩු හිතෙන් අහනවා මේකද සැබෑ ආදරය කියලා. එලෙසම ඇත්තටම ඔබ ආදරේ ඔබටම මිස ඇයට නොවන බවට තර්ක කරනවා. 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 




සඳකැන් වැසිලා ගීතයද එවන් තවත් වෙසෙස් ගීතයකි. එහෙත් පොදු සාධකය ගතහොත් මෙහිද ඇත්තේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයමය. ඒ හා බැඳුනු ඈඳුනු සිද්ධීන්ය. ගැටීම්ය. පැටලීම්ය. මේ ලොව තමන් සතුයැයි සිතූ තම ප්‍රියාවියගේ නෙතු යුග අසල්වැසි රුවක් සොයන අන්දමයි මේ ගීතයේ සඳහන් වෙන්නේ. එහෙත් අපේ කථානායකයා අන් සතු සිත් බින්ද අයෙකු නොවේ. ඔහු කල්පනා කරන්නේ එහෙව් තමන්ට මෙහෙම වුණේ ඇයි කියන එකයි. ඒත් ඒ ප්‍රශ්නයට කාටනම් උත්තර කිවහැකිද?

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු පෙනේ 
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස්තලයක සඟවා........

මේ ගීතය ලියා ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. දන්නා හැටියට ජීවිත අත්දැකීම් මත ලියුවකි. සමහර ගීත ජීවිත අත්දැකීම් මත ලියවෙන විට ඒවාගේ හෘදයංගම බව වැඩිවෙයි. එය ගීතයට සුවිශේෂ බරකි.



මේ ඔස්සේම ඉව අල්ලමින් ගියොත් ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ තවත් ගීතයක්ද මෙහි නොකියා බැරිවෙයි. ඒ අනෙකක් නොව

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නමා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා
මගේ පැල්පතෙන් ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී....

මේ ගීතයද ගේහසිත දිවියේ අනවරත හැලහැප්පීම් පිළිඉඳව අත්දැකීමක් හෝ අත්විඳීමක් මත ලියූවකැයි මා අසා ඇත. එහි ඇත්තේ ජීවිතයේ යම් ව්‍යාකූල සිදුවීමක් නිසා වන කලබැගෑනියක් ගී පද ඔස්සේ ලියවුණකි. එහි අරුත වටහා ගන්නා අප සංගීතඥ ගායකයා ඒ ව්‍යාකූල තත්වය මනාව කුළුගන්වන අයුරින් සංගීතවත්කොට ගයයි. එය කතාවෙන් වටහාගත නොහැක. ඇසීමෙන් ඊට වඩා වටහා ගත හැකිය. එබැවින් ගීතය අසමු. 


මොහොතකට අපි අපේ හැඟුම් වලට ඉඩදුන්නොත්...... 
හිතල බලන්න අපිට කොහේ කොහේ නවතින්න වෙයිද කියලා.... 
හැඟුම් වලට ඉඩ දීලම බලමු. 
ඔව්! 
එහෙම වු‍ණොත්
මෙන්න මෙහෙම තැනක නවතීවි. 



 - යසනාත් ධම්මික බණ්ඩාර -


No comments:

Post a Comment